Saturday, May 5, 2018

සංස්කෘතිය : නිර්වචන සහ අනිර්වචන

සංස්කෘතිය ගැන කතා කරන්න කලින්  සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරලා හිටපං කියලයි යටිහිත කියන්⁣නේ. අපට හැම දේකටම නිර්වචන අවශ්‍යයි. විශේෂයෙන් ශාස්ත්‍රීය සාකච්ඡා වලදි.  හරියට නිර්වචන නැතිව මොකවත් කරන්න බැහැ වගෙයි. නිර්වචන වල තිබෙන ප්‍රශ්නය තමයි නිර්වචනවල මුලටම ගියහම හම්බ වෙන්නේ නිර්වචනය නොකළ සංකල්ප තිබීම..
.
 මේ ගැන මහාචාර්ය නලින්ද සිල්වා මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිතය උගන්වද්දි කළ පැහැදිලි කිරීමක් මට තවම මතකයි. (එතුමා විද්‍යා පීඨයේ සිසුන්ට විතරක් නොවෙයි ශාස්ත්‍ර පීඨයේ සිසුන් වුු අපටත් ගණිතය ඉගැන්වුවා) මහාචාර්ය නලින් කිව්වෙ මෙහමෙයි.

"සරල රේඛාව නිර්වචනය කරන්නේ ලක්ෂයන් දෙකක් අතර පවතින කෙටිම දුර හැටියටයිි. ඒත් ලක්ෂය කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරලා නැහැ. නිර්වචන පටන් ගන්නෙම අනිර්වචනීය සංකල්ප ඇසුරින්."

ගනිතය, භෞතිකවිද්‍යාව වගේ ශුද්ධ විද්‍යා සංකල්ප වල තත්වය එහෙම නම් සංස්කෘතිය කියන සමාජ විද්‍යා වපසරියට ගැනෙන සංකල්ප ගැන කවර කතාද? නිර්වචන අස්සේ මේ මායාව තිබුනත් අපට නිර්වචන අවශ්‍ය වෙනවා. ඉතින් සංස්කෘතිය මොකක්ද කියලා නිර්වචනය කරන්න පුලුවන්ද කියලා බලමු.

ප්‍රකෘතිය නොවන සියල්ල සංස්කෘතියයි කිව්වහම ඒක බොහොම පළල් නිර්වචනයක්. ඒකෙන් මොකුත්ම කියවෙන්නේ නෑ වගේ. ඒනිසා සංස්කෘතිය යන්න පැහැදිලි කරන්න ඊට වඩා විස්තර වලට යන්න වෙනවා.

අපි බලමු සිංහල ශබ්දකෝෂ පැහැදිලි කිරීම. හරිස්චන්ද්‍ර විජයතුංග මහා සිංහල ශබිදකෝෂයේ දැක්වෙන්නේ "ආගම භාෂාව ආදිය නිසා ඇතිවූ හැඩගැස්ම, හැදුණුකම, අධ්‍යාපනය  හා අභ්‍යාසය කරණ කොට ගෙන සිතුම් පැතුම්  ආදියේ ඇතිවූ දියුණුව හෝ විනීත භාවය, බුද්ධි වර්ධනයේ හා ශිෂ්ටාචාරයේ විශේෂ  අංගයක් හෝ මට්ටමක්, හැදියාව " වශයෙන්.

එසේම සංස්කෘත යන විශේෂණ පදයට එම ශබ්දකෝෂයේ "මනා සේ සකස්  කළ,  ඔප දැමූ, සූදානම්  කළ , පිළියෙළ  කළ , සෑදූ, සම්පුර්ණ කළ , ශුද්ධ කළ , හේතු ප්‍රත්‍ය නිසා ඇතිවු" ආදී තේරුම්  දක්වා තිබෙනවා.

සංස්කෘතිය යන්නට අප යොදනා ඉංග්‍රීසි culture  යන වචනය පිළිබඳ විමසා බැලීම වැදගත්. එහි මුල වු ලතින් වචනය වන කුල්ටූස් (cultus) යන්නෙහි අරුත වූයේ වඳිනවා යන්නයි. ආගමික අරුතකින්. පසුව එය භූමිය අස්වැද්දීම යන අරුතින් යෙදුනා. කෘෂිකාර්මික අරුතකින්.  ඉන්පස්සෙ නැවතත් සිත සහ කල්කිරියාව යහපත් කරගැනීම ගුණ දහම් වගා කර ගැනීම යන තේරුමින් ව්‍යවහර වුනා. නැවතත් ආගමික සහ ආචාර ධර්මික අදහසකින්.  19වන ශත වර්ෂය වන විට කල්ච කියන ඉංග්‍රීසි  වචනය ශිෂ්ටාචාරයක බුද්ධිමය සහ සෞන්දර්යවාදී ලක්ෂණ විස්තර කරලීමට යොදාගන්නා  වචනයක් බවට පත්වුනා.

යුුනෙස්කෝ සංවිධානය සංස්කෘතිය  නිර්වචනය කරන්නේ මෙහෙමයි. " සමාජයක හෝ සමාජ කණ්ඩායමක අනන්‍යතාව පෙන්නුම් කරන භාවමය, බුද්ධිමය , භෞතිකමය, අධ්‍යාත්මික සියල්ලෙහි සංකීර්ණ  සුවිශේෂත්වය සංස්කෘතිය යි. ( කුසල් පෙරේරාගේ පරිවර්තනය)

මෙහෙම ඉදිරිපත්වෙලා තිබෙන නිර්වචන හත අටක් කියවලා බලන කොට සංස්කෘතිය කියන්නේ ⁣මොකක්ද කියලා ප්‍රමාණවත් අදහසක් අපට ඇති කරගන්න පුලුවන්. සංස්කෘතිය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්න  වෙන ක්‍රමයක් නැහැ.



No comments:

Post a Comment