Wednesday, May 2, 2018

සාර සදිසි පෙති

'සාර සදිසි පෙති' මේ බ්ලොගයේ නමයි. මෙතෙක් කරගෙන එමින් තිබෙන 'සතර දිගන්තය' තිබියදී තවත් අලුත් බ්ලොගයක් කරන්නේ මොකටදැයි මගේ පාඨකයන්ට ප්‍රශ්නයක් ඇති වන්නට පුලුවන්. ඇත්තෙන්ම මටද එම ප්‍රශ්නය තිබෙනවා. දේශපාලන වාසුලියේ පැටලී ගසාගෙන යන්නට යන්නට සතර දිගන්තය අඛණ්ඩව ලිවීමට වෙලාව සොයා ගැනීමට නොහැකි වුණා. එ් බ්ලොගය දේශපාලනය වැඩියෙන් කතා කළ එකක්. ඉතින් වේගයෙන් අප්ඩේට් කළ යුතු එකක්. කාලය කළමනාකරණය කරගැනීමට හැකි වූ විට නැවතත් පරණ වේගයෙන්ම සතර දිගන්තය ලිවීමට ඉඩ තබාගෙන එහි සාරය නොමරා මට කීමට ඇති වෙනත් දේ  කීම සඳහා අලුත් බ්ලොගයක් ලෙස සාර සදිසි පෙත්ත කරන්නට කල්පනා කළා.

සාර සදිසි ⁣පෙති කියන යෙදුම ගත්තේ මේවර කෙළිය කියන අපේ පරණ ජන ක්‍රීඩාවකට සම්බන්ධ කවි පන්තියක එන පළමුවන පදයෙන්;

සාර සදිසි පෙති පේර නෙලන කල වළ ගි⁣යදෝ මගේ මේවරයා...
නෑනෝ නුඹ පල් නුඹෙ දරැවන් පල් අප දුටුවේ නැත මේ වරයා...

මෙතන මේවරයා කියන්නේ කාන්තාවන් කණේ පළදින පුස්කොළ වලින් හදපු පළඳනාවක්. මේ ජන ක්‍රීඩාව අද විතරක් නොවේ මීට අවුරුදු හතළිහකට විතර කලින් අපි පාසැල් ගිය කාලයේවත් ගම් වල තිබුනේ නෑ.ගමේ නොතිබුණත් පාසලේ විෂය නිර්දේශයේ තිබුණා. අපට මේක ඉගැන්වූයේ ගමේ පාසැලේ නැටුම් ගුරුවරියයි. ක්‍රීඩාව මොකක් වුනත් කවිය අපට මතක හිටියා.

මේ පද පෙලින් පටන් ගන්නා සමිතා එරන්දතී ගයන ගීතයකුත් තිබෙනවා. එ් ගීතයෙන් නම් කියන්නේ නැතිවුන පළඳනාවක් ගැන නොවෙයි.  තරුණියකට ආලය කරලා  පසුව හෙමින් මාරුවෙලා යන ප්‍රේම කුරුල්ලෙක් ගැනයි. පහත වීඩියෝව බලන්න...
https://youtu.be/c-iDfob1Jrs

මේ බ්ලොගයට සාර සදිසි පෙති ගත්තේ වෙනත් අදහසකින්.සමාජයක් හැටියට අපේ කිසියම් සාරයක් තිබේ නම් එය තිබෙන්නේ අපේ සංස්කෘතියෙයි. සංස්කෘතිය කියන්නෙ හරිම පළල් මාතෘකාවක්. ප්‍රකෘතිය නොවන සියල්ල සංස්කෘතියට අයිති නිසා. ප්‍රකෘතිය තේරුම් ගැනීමට පවා අප යොදා ගන්නා දැණුම සංස්කෘතියට සාපේකෂයි. මෙවන් වු පළල් වපසරියක අපේ සාරය සොයා යෑමක් හැටියටයි සාර සදිසි පෙති ලියවෙන්නේ.අපේ සංස්කෘතියේ සාරය පෙත්තෙන් පෙත්ත යහපත් ලෙස දකින්නයි මෙය ලියවෙන්නේ. නැතිව සංස්කෘතිය පෙති ගහන්න එහෙම නොවෙයි.

No comments:

Post a Comment