Thursday, May 10, 2018

සංස්කෘතියක දෙමුහුණක්...

බටහිර හා පෙරදිග භේදයක් ගැන අපි නිතර කතා  කරනවා.  ගෝලාකාර වු පෘථිවියේ පෙරදිග හා බටහිර බෙදුම් රේඛාව හොයන්න ගියොත් අප අමාරුවේ වැටෙනවා.බටහිර පෙරදිග බෙදුම භූගෝලීය බෙදුමකට වඩා සංස්කෘතික බෙදීමක් කියල ගත්තොත් එය වඩා නිරවුල්. ඒ අනුව අප ජීවත්වන ලෝකයේ මනුෂය සමාජයේ බටහිර සංස්කෘතිය හා පෙරදිග සංස්කෘතිය යනුවෙන්  සංස්කෘතීන් දෙකක් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මේව එකිනෙක විනිවිදිමින් යන අවස්ථාව තිබෙන බව එයින බැහැර කරන්නේ නැහැ. එහෙත් මේ සංස්කෘතීන්  දෙකට පදනම් වූ ලෝක දෘෂ්ටීන් දෙකක් තිබෙනවා. ඒ දෙ වෙනස් වන්නේ ලෝකය දෙස අප බලන ආකාරය අනුවයි.

බටහිර සංස්කෘතියේ ජීවත්වන මිනිසාට අනුව පුද්ගලයා කියන්නේ වෙනම සත්තාවක්. බාහිර ලෝකය මේ කියන පුද්ගලයාට පරිබාහිරව පවතින තවත් සත්තාවක්. බටහිර මිනිසාගේ ලෝක දෘෂ්ටියට අනුව තමාට බාහිරව පවතින මේ ලෝකය තමාට රිසි පරිදි මඩින්නට නවන්නට තලන්නට තමාට ගැලපෙන පරිදි සකස් කරගන්නට හැකි මැටි පිඩක් වගේ දෙයක්. ලෝකය ජය ගැනීම බටහිර මිනිසාට වීර චාරිකාවක් හරියට හෝමර්ගේ ඔඩිසි කියන ග්‍රීක කාව්‍යයේ එන වීරයා වන යුලීසීස් ට්‍රෝජන් යුද්ධය ජයගෙන අවුරුදු නවයක් විවිධ අභයෝග ජයගනිමින්   තම බිරිද සොයා නිවසට පැමිණෙන වීර චාරිකාව වගේ වීරචාරිකාවක්.

පෙරදිග සංස්කෘතියේ මිනිසාගේ ලෝක දෘෂ්ටිය එහෙම එකක් නොවේ. පෙරදිග ලෝක දෘෂ්ටිය ලෝකය එහෙම කැබලිවලට කඩා ආම්බාන් කරගත යුතු සත්තාවක් ලෙස දකින්නේ නැහැ. පෙරදිග මිනිස⁣ා ලෝකය දකින්නේ තමා ලෝකයේ ස්වාමියා ලෙස නොවේ. තමාද එහි කොටසක් වශයෙන් පමණයි. පෙරදිග සංස්කෘතියට අනුව ලෝකය ජයගැනීමේ වීරචාරිකාවක නියැලීම මිනිසාගේ ජීවන නිෂ්ටාව නොවෙි. ස්වහාව ධර්මය අතර සමවායක් සහිතව ජීවත් වීම පෙරදිග ලෝකයේ දැක්මයි. මේ සංස්කෘතිීන් දෙකේ දැනුම, ඉතිහාසය ආගම් ආචාර සමාචාර විධි සාහිත්‍ය කලා ආදී සියල්ල මේ මුලික වෙනස මත සංස්කරණය වී තිබෙන බව කියන්න පුලුවන්. මේ දෙක අතර තරගයක් තිබ්බොත් පළමු වටයේ ජයග්‍රහණය වඩා ආක්‍රමණයශීලී බටහිර සංස්කෘතිය දිනන්න පුලුවන්. එය දැනටමත් සිදුවී තිබෙනවා. එහෙත් මෙම පළමු වටයේ ජයග්‍රහණය පෘථිවි වැසිය⁣ාගේ සමස්ථ පරාජයක් කරා යොමුවෙමින් තිබෙන බවද මේ වන විට සිදුවෙමින් තිබෙන දේවලින් පැහැදිලියි.

මේ සමස්ත පරාජයෙන් ගැලවෙන්න නම් අද වන විට මේ සංස්කෘතීන් දෙක එකිනෙකාගේ යහපත් දේවල් හුවමාරු කරගනිමින් ලෝකය යළි සකස් කර ගන්නා හමුවීම් මධ්‍යස්ථානයකට යායුතුයි. පෙරදිගට හා අපරදිගට එකතුවිය හැකිද?
ඊළඟට

No comments:

Post a Comment