Tuesday, May 15, 2018

පෙරදිග පෙරදිගය අපරදිග අපරදිගය

පෙරදිග අපරදිග සංස්කෘතික වෙනස ගැන කතා කරන විට වැඩි දෙනෙක්  රඩ්යාඩ් කිප්ලින් කවියාව උපුටා දක්වන්න කැමති වෙනවා. කිප්ලින් ලියු "පෙරදිග අපරදිග" නම් සුප්‍රසිද්ධ කාව්‍යයේ පළමු දෙපදයෙන් කියන්⁣නේ " පෙරදිග පෙරදිගය අපරදිග අපරදිගය අහස පොළව පුරා දෙවියන්ගේ කැමැත්ත ති⁣බෙන තුරා මේ දෙදිග එකට මුන ගැසෙනු නැති" බවය. මෙම කවිය විවිධ අර්ථකථන වලට මෙන්ම හෙළා දැකීම්වලටද ලක්වුවක්.  කෙසේ වුවත් පෙරදිග⁣ට හා අපරදිගට සංස්කෘතික වශයෙන් එක්වීමට බැරි බව පෙරදිග  මෙන්ම අපරදිගද මුල් බැස ගත් අදහසක්. එහෙත් ඉතිහාසය පුරා සිදු වී ඇත්තේ  ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියක්.

පෙරදිගත් අපරදිගත් කාටත් සමාන හැඟීම් වලින් යුතුව බෙදාහදා ගත හැකි දේවල් තිබෙනවා.⁣  පෙරදිග රාමායනේ රාවණා රජු සීතා කුමරිය පැහැර ගෙන යනවා. යුද්ධයක් ඇතිවෙනවා.  අපරදිග ග්‍රීක මහා කාව්‍යය වන ඉලියඩ් කතාවෙ හෙලන් කුමාරිව පැරිස් කුමරා පැහැර ගෙන යාමෙන් ⁣⁣ෙ ට්‍රා්ජන් යුද්ධය ඇති වෙනවා.

උමංදාවෙ පුත්‍ර ප්‍රශ්නයත් හුණු වටයේ කතාවත් සමානයි. ලංකාවෙ මහා වංශය සහ විලියම්   ෂෙක්ස්පියර්ගෙ මැක්බත් නාටකයෙ සමාන සිදුවීමක් තිබෙනවා. රුහු නෙ  සිට අනුරාධපුරයට යන සංඝෝධි හා ⁣ෙ ගා්ඨාභය කුමාරවරුන් ට ⁣ෙ ප්න කියන්නකු මුන ගැසී ඔවුන් රජ වන බව කියනවා. මැක්බත් නාටකයෙත්  යුද්ධයටගිහින් ගෙදර යන මැක්බත් සහ ඔහුගෙ මිතුරු සෙනෙවියාට අනාවැකි කියන මායාකාරියන් මුන ගැසී මැක්බත් රජවන බව කියනවා.

 පෙර අපර දෙදිග සංස් කෘතික කලාපේ  මෙවැනි සංස්කෘතික සමාන කම් ඕනෑ තරම්
සොයා ගන්න පුලුවන්.

 මෙම සමාන කම් මකා දමමින් පෙරදිග සහ අපර දිග  අතර මහා බෙදුමක් ඇති වන්නට පටන් ගත් තෙ නුතනවාදයත් සමග කියල කියන්න පුලුවන්.


Thursday, May 10, 2018

සංස්කෘතියක දෙමුහුණක්...

බටහිර හා පෙරදිග භේදයක් ගැන අපි නිතර කතා  කරනවා.  ගෝලාකාර වු පෘථිවියේ පෙරදිග හා බටහිර බෙදුම් රේඛාව හොයන්න ගියොත් අප අමාරුවේ වැටෙනවා.බටහිර පෙරදිග බෙදුම භූගෝලීය බෙදුමකට වඩා සංස්කෘතික බෙදීමක් කියල ගත්තොත් එය වඩා නිරවුල්. ඒ අනුව අප ජීවත්වන ලෝකයේ මනුෂය සමාජයේ බටහිර සංස්කෘතිය හා පෙරදිග සංස්කෘතිය යනුවෙන්  සංස්කෘතීන් දෙකක් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මේව එකිනෙක විනිවිදිමින් යන අවස්ථාව තිබෙන බව එයින බැහැර කරන්නේ නැහැ. එහෙත් මේ සංස්කෘතීන්  දෙකට පදනම් වූ ලෝක දෘෂ්ටීන් දෙකක් තිබෙනවා. ඒ දෙ වෙනස් වන්නේ ලෝකය දෙස අප බලන ආකාරය අනුවයි.

බටහිර සංස්කෘතියේ ජීවත්වන මිනිසාට අනුව පුද්ගලයා කියන්නේ වෙනම සත්තාවක්. බාහිර ලෝකය මේ කියන පුද්ගලයාට පරිබාහිරව පවතින තවත් සත්තාවක්. බටහිර මිනිසාගේ ලෝක දෘෂ්ටියට අනුව තමාට බාහිරව පවතින මේ ලෝකය තමාට රිසි පරිදි මඩින්නට නවන්නට තලන්නට තමාට ගැලපෙන පරිදි සකස් කරගන්නට හැකි මැටි පිඩක් වගේ දෙයක්. ලෝකය ජය ගැනීම බටහිර මිනිසාට වීර චාරිකාවක් හරියට හෝමර්ගේ ඔඩිසි කියන ග්‍රීක කාව්‍යයේ එන වීරයා වන යුලීසීස් ට්‍රෝජන් යුද්ධය ජයගෙන අවුරුදු නවයක් විවිධ අභයෝග ජයගනිමින්   තම බිරිද සොයා නිවසට පැමිණෙන වීර චාරිකාව වගේ වීරචාරිකාවක්.

පෙරදිග සංස්කෘතියේ මිනිසාගේ ලෝක දෘෂ්ටිය එහෙම එකක් නොවේ. පෙරදිග ලෝක දෘෂ්ටිය ලෝකය එහෙම කැබලිවලට කඩා ආම්බාන් කරගත යුතු සත්තාවක් ලෙස දකින්නේ නැහැ. පෙරදිග මිනිස⁣ා ලෝකය දකින්නේ තමා ලෝකයේ ස්වාමියා ලෙස නොවේ. තමාද එහි කොටසක් වශයෙන් පමණයි. පෙරදිග සංස්කෘතියට අනුව ලෝකය ජයගැනීමේ වීරචාරිකාවක නියැලීම මිනිසාගේ ජීවන නිෂ්ටාව නොවෙි. ස්වහාව ධර්මය අතර සමවායක් සහිතව ජීවත් වීම පෙරදිග ලෝකයේ දැක්මයි. මේ සංස්කෘතිීන් දෙකේ දැනුම, ඉතිහාසය ආගම් ආචාර සමාචාර විධි සාහිත්‍ය කලා ආදී සියල්ල මේ මුලික වෙනස මත සංස්කරණය වී තිබෙන බව කියන්න පුලුවන්. මේ දෙක අතර තරගයක් තිබ්බොත් පළමු වටයේ ජයග්‍රහණය වඩා ආක්‍රමණයශීලී බටහිර සංස්කෘතිය දිනන්න පුලුවන්. එය දැනටමත් සිදුවී තිබෙනවා. එහෙත් මෙම පළමු වටයේ ජයග්‍රහණය පෘථිවි වැසිය⁣ාගේ සමස්ථ පරාජයක් කරා යොමුවෙමින් තිබෙන බවද මේ වන විට සිදුවෙමින් තිබෙන දේවලින් පැහැදිලියි.

මේ සමස්ත පරාජයෙන් ගැලවෙන්න නම් අද වන විට මේ සංස්කෘතීන් දෙක එකිනෙකාගේ යහපත් දේවල් හුවමාරු කරගනිමින් ලෝකය යළි සකස් කර ගන්නා හමුවීම් මධ්‍යස්ථානයකට යායුතුයි. පෙරදිගට හා අපරදිගට එකතුවිය හැකිද?
ඊළඟට

Saturday, May 5, 2018

සංස්කෘතිය : නිර්වචන සහ අනිර්වචන

සංස්කෘතිය ගැන කතා කරන්න කලින්  සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරලා හිටපං කියලයි යටිහිත කියන්⁣නේ. අපට හැම දේකටම නිර්වචන අවශ්‍යයි. විශේෂයෙන් ශාස්ත්‍රීය සාකච්ඡා වලදි.  හරියට නිර්වචන නැතිව මොකවත් කරන්න බැහැ වගෙයි. නිර්වචන වල තිබෙන ප්‍රශ්නය තමයි නිර්වචනවල මුලටම ගියහම හම්බ වෙන්නේ නිර්වචනය නොකළ සංකල්ප තිබීම..
.
 මේ ගැන මහාචාර්ය නලින්ද සිල්වා මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිතය උගන්වද්දි කළ පැහැදිලි කිරීමක් මට තවම මතකයි. (එතුමා විද්‍යා පීඨයේ සිසුන්ට විතරක් නොවෙයි ශාස්ත්‍ර පීඨයේ සිසුන් වුු අපටත් ගණිතය ඉගැන්වුවා) මහාචාර්ය නලින් කිව්වෙ මෙහමෙයි.

"සරල රේඛාව නිර්වචනය කරන්නේ ලක්ෂයන් දෙකක් අතර පවතින කෙටිම දුර හැටියටයිි. ඒත් ලක්ෂය කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරලා නැහැ. නිර්වචන පටන් ගන්නෙම අනිර්වචනීය සංකල්ප ඇසුරින්."

ගනිතය, භෞතිකවිද්‍යාව වගේ ශුද්ධ විද්‍යා සංකල්ප වල තත්වය එහෙම නම් සංස්කෘතිය කියන සමාජ විද්‍යා වපසරියට ගැනෙන සංකල්ප ගැන කවර කතාද? නිර්වචන අස්සේ මේ මායාව තිබුනත් අපට නිර්වචන අවශ්‍ය වෙනවා. ඉතින් සංස්කෘතිය මොකක්ද කියලා නිර්වචනය කරන්න පුලුවන්ද කියලා බලමු.

ප්‍රකෘතිය නොවන සියල්ල සංස්කෘතියයි කිව්වහම ඒක බොහොම පළල් නිර්වචනයක්. ඒකෙන් මොකුත්ම කියවෙන්නේ නෑ වගේ. ඒනිසා සංස්කෘතිය යන්න පැහැදිලි කරන්න ඊට වඩා විස්තර වලට යන්න වෙනවා.

අපි බලමු සිංහල ශබ්දකෝෂ පැහැදිලි කිරීම. හරිස්චන්ද්‍ර විජයතුංග මහා සිංහල ශබිදකෝෂයේ දැක්වෙන්නේ "ආගම භාෂාව ආදිය නිසා ඇතිවූ හැඩගැස්ම, හැදුණුකම, අධ්‍යාපනය  හා අභ්‍යාසය කරණ කොට ගෙන සිතුම් පැතුම්  ආදියේ ඇතිවූ දියුණුව හෝ විනීත භාවය, බුද්ධි වර්ධනයේ හා ශිෂ්ටාචාරයේ විශේෂ  අංගයක් හෝ මට්ටමක්, හැදියාව " වශයෙන්.

එසේම සංස්කෘත යන විශේෂණ පදයට එම ශබ්දකෝෂයේ "මනා සේ සකස්  කළ,  ඔප දැමූ, සූදානම්  කළ , පිළියෙළ  කළ , සෑදූ, සම්පුර්ණ කළ , ශුද්ධ කළ , හේතු ප්‍රත්‍ය නිසා ඇතිවු" ආදී තේරුම්  දක්වා තිබෙනවා.

සංස්කෘතිය යන්නට අප යොදනා ඉංග්‍රීසි culture  යන වචනය පිළිබඳ විමසා බැලීම වැදගත්. එහි මුල වු ලතින් වචනය වන කුල්ටූස් (cultus) යන්නෙහි අරුත වූයේ වඳිනවා යන්නයි. ආගමික අරුතකින්. පසුව එය භූමිය අස්වැද්දීම යන අරුතින් යෙදුනා. කෘෂිකාර්මික අරුතකින්.  ඉන්පස්සෙ නැවතත් සිත සහ කල්කිරියාව යහපත් කරගැනීම ගුණ දහම් වගා කර ගැනීම යන තේරුමින් ව්‍යවහර වුනා. නැවතත් ආගමික සහ ආචාර ධර්මික අදහසකින්.  19වන ශත වර්ෂය වන විට කල්ච කියන ඉංග්‍රීසි  වචනය ශිෂ්ටාචාරයක බුද්ධිමය සහ සෞන්දර්යවාදී ලක්ෂණ විස්තර කරලීමට යොදාගන්නා  වචනයක් බවට පත්වුනා.

යුුනෙස්කෝ සංවිධානය සංස්කෘතිය  නිර්වචනය කරන්නේ මෙහෙමයි. " සමාජයක හෝ සමාජ කණ්ඩායමක අනන්‍යතාව පෙන්නුම් කරන භාවමය, බුද්ධිමය , භෞතිකමය, අධ්‍යාත්මික සියල්ලෙහි සංකීර්ණ  සුවිශේෂත්වය සංස්කෘතිය යි. ( කුසල් පෙරේරාගේ පරිවර්තනය)

මෙහෙම ඉදිරිපත්වෙලා තිබෙන නිර්වචන හත අටක් කියවලා බලන කොට සංස්කෘතිය කියන්නේ ⁣මොකක්ද කියලා ප්‍රමාණවත් අදහසක් අපට ඇති කරගන්න පුලුවන්. සංස්කෘතිය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්න  වෙන ක්‍රමයක් නැහැ.



Thursday, May 3, 2018

සංස්කෘතියද බලයකි

රාජ්‍යයන් බලවත් වන ආකාර විවිධයි. සමහර රාජ්‍යය ධනයෙන් බලවත්. සමහර ඒවා තාක්ෂණික වශයෙන් බලවත්. න්‍යෂ්ටික බලය තිබෙන රටවල් අප හඳුන්වන්නේ න්‍යෂ්ටික බලවතුන් වශයෙන්. ඒ ආකාරයට සංස්කෘතික බලවතුන් බිහිවෙන්න බැරිද? මේ අදහස මගේ ඔලුවට දැම්මේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන.

 ඇත්තෙන්ම සංස්කෘතිය බලයක් ලෙස බොහොම සුමටව යොදාගන්නා රටවල් තිබෙනවා. එකක් තමයි ජපානය. අපි අපේ සංස්කෘතිය ගැන බොහොම ආඩම්බර වන ජාතියක්. එ් වගේම ආඩම්බර විය හැකි සංස්කෘතික උරුමයක්ද අපට තිබෙනවා. නමුත් අපට හැකි වී තිබෙනවාද ලෝකයක් වසඟ කළ හැකි ආකාරයට අපේ සංස්කෘතිය බලයක් ලෙස මතු කරන්න? තවම බැරි වුනත් කරන්න බැරි දෙයක් නොවෙයි.

උදාහරණයක් හැටියට ජපානය බටහිරින් ලැබුණ තාක්ෂණය තමන්ගේ කාර්මික සංවර්ධනය සඳහා යොදා ගත්තේ ජපන් සංස්කෘතික සංදර්හයක් ඇතුලේයි.ජපායේ කර්මාන්ත ආරම්භයේදී මුලු රටේම යහපත වෙනුවෙන් රජය කාර්මික ක්ෂේත්‍රයේ ආයෝජනය කළා. මෙය බටහිර සිදුවනාට වඩා සහමුලින්ම වෙනස් ක්‍රමයක්.  බටහිර කාර්මිකකරණය පුද්ගලික ලාභය සදහා පුද්ගලික ප්‍රාග්ධනය මත පුද්ගලික ව්‍යවසායකයන් විසින පුද්ගලික ව්‍යාපාර ලෙස පමණක් ආරම්භ වුවක්. කාර්මිකකරණය සඳහා ජපානය ගත්ත මේ වෙනස් නැඹුරුව බටහිරට අදහා ගන්න බැරිවුණා. බටහිර ආර්ථිකවිද්‍යා සිද්ධාන්ත වලින් එය පැහැදිලි කරන්න බැරි වුණා. රටම එක පවුලක් ලෙස කල්පනා කරන හැම කෙනාගේම සතු යුතුකම් සහ වගකීම් ගැන කොන්පියුසියානු සංස්කෘතික ආකල්ප මුලික කරගත්  ජපන් රාජ්‍ය ව්‍යවසාය වල වැඩ කරපු මිනිස්සු මේ රාජ්‍ය දේපල භාරගත්තේ පුද්ගලික දේපල හැටියටමයි. මිනිස්සු එන්ජින්වල කෑලි හොරෙන් ගෙදර අරන් ගියේ නෑ. පොදු බස් රථයේ සීට් කැපුවේ නැහැ.කෑදර හොරකම් කරලා මේ ආයතන බංකෙළොත් කළේ නෑ. කාර්මික කරණයේ එම මුලික දුෂ්කර අවධිය පන්නා ගත්තාට පසු ජපනුන් පසුව වෙනත් මාදිලි වලට මාරුවුණා.

 අපේ රටේත් මේ වගේ රාජ්‍ය ආයෝජන මත කාර්මිකකරණ ව්‍යාපෘති ආරම්භ කළත් ඒවා විනාශ කළේ අපි අපම නොවේද?පොදු දේපල ආරක්ෂකා කිරීම අපට පොතේ දැණුමක් මිස සංස්කෘතික භාවිතාවක් වුනේ නැහැ. ඒ අතින්  අපේ සංස්කෘතික බල පදනම දුර්වලයි. සංස්කෘතික බලයක් ගොඩනගන්න නමි මේ දුර්වල කම පියමං කළ යුතුව තිබනවා.

ජපානයට කොන්පියුසස් දහම තිබෙනවා වගේම අපට බුදු දහම තිබෙනවා.  ඒත් සම්මා කම්මන්තය පිළිබඳ අදහස පොතේ දැණුමක් ලෙස මිස නුතන යුගයට ගැලපෙන සංස්කෘතික දැණුමක් බවට අපි පත් කළේ නෑ. අපේ සංස්කෘතිය බලයක් බවට පත්කරන්න අපට තව මේ වැඩ බිමේ බොහෝ දේ කරන්න තිබෙනවා .






Wednesday, May 2, 2018

මක් කරන්නද? ඇතුලෙන්ම අගුලු දාගෙන

මක් කරන්නද?
ඇතුලෙන්ම
අගුලු දාගෙන

මේ ආරියවංශ රණවීරගෙ කෙටි කවියක්. රණවීරගෙ කෙටි කවි විවිධ අර්ථ ජනනය වන ලෙස කියවන්න පුලුවන් බව ඔහුගේ කවි පිළිබද විස්තරාතමක විග්‍රහයක් කර තිබෙන ලියනගේ අමරකීර්ති පවසා තිබුණා. අපි රණවීරගේ මේ කවිය අපේ සංස්කෘතිය වටහා ගැනීමට යොදා ගනිමු.

සංස්කෘතිය කියන්නේ වෙනස් වෙමින් රැකෙන දෙයක්. වෙනස් වෙමින් රැකෙනවා කියන යෙදුමේ ලොකු විරුද්ධාභාෂයක් තිබෙනවා. යමක් වෙනස් වෙනවා නම් රැකෙන්න විධිහක් නැහැ. රැකෙනවානමි වෙනස් වෙන්න විධිහක් නෑ. නමුත් සංස්කෘතිය සම්බන්ධයෙන් මේ විිරුද්ධාභාෂය වලංගුයි.

වෙනස් වෙමින් රැකෙන සංස්කෘතියකට විවෘතභාවය ඉතා අවශ්‍යයි. සංස්කෘතික වශයෙන් ආත්ම විශ්වාසයක් තිබෙන සමාජයක් බාහිර බලපෑම් සඳහා විවෘත වෙලා එමගින් වාසි අත්පත් කරගන්නවා. සංස්කෘතික අතින් ආත්ම විශ්වාසය බිඳගත්ත සමාජ වඩ වඩා ආරක්ෂණවාදී පැත්තට යොමුවෙනවා. එවැනි සමාජ උත්සාහ කරන්නේ හිරි වැටී තිබෙන සමිප්‍රදායන් හුවා දක්වන්නයි.

සංස්කෘතික විවෘත භාවයේ වැදගත්කම හා ආරක්ෂණවාදයේ පටු බව පැහැදිලි කරන හොඳ ලිපියක් කුසල් පෙරේරා මීට අවුරුදු දහයකට විතර කලින් පරිවර්තනය කර තිබුණා "සංස්කෘතික මහල්ලෙකුගේ සංවර්ධන විලාපය" නමින්.

අපි වැඩි දෙනෙක් යුරෝපයට බටහිරට දෙස් දෙවොල් තියන්න කැමති වුනාට බටහිර නූතනත්වය අවුරුදු පන්සියයක් තරම් කාලයක් ලෝකයේ රජ කරමින් තිබෙන්නේ ආර්ථික සාධක වලටත් වඩා සංස්කෘතික සාධක නිසා කියලයි මට හිතෙන්නේ. සංස්කෘතික විවෘත භාවය යුරෝපයට තිබූ විශේෂ ගුණයක්.

යුරෝපයේ ශක්තිය වූයේ කිසිවිටෙක ආරක්ෂණවාදීව තමන් වසා ගැනීමේ වරදට හසු නොවීමයි. අනෙක් සංස්කෘතීන්ගෙන් ලබා ගැනීමට හැකි වූ කිසිවක් අත නොහැරීමට යුරෝපය වග බලා ගත්තා. යුරෝපයේ මහා අධිරාජ්‍යය ගොඩ නැගුවේ රෝමානුවන්. ඒත් ඒ අධිරාජ්‍යයයේ පාලන රටාව රෝමයට වඩා පර්සියාවට කිට්ටු වුණා. යුරෝපයේ පුනරුදය අරාබි දැණුමින් බොහෝ ප්‍රයෝජන ගත්තා. නවීන දර්ශනය මුල පුරන්නට 13 වන සියවසෙහි හිටපු ක්‍රිස්තියානි දාර්ශනිකයන්ට හැකි වුණේ ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීම් වලට ඇවරෝස් වැනි දොළොස්වැනි සියවසෙහි හිටපු  අරාබි දාර්ශනිකයන් අර්ථකථන සපයා තිබූ බැවින්.

අපේ රටත් ඉහල සංස්කෘතික විවෘතභාවයක් තිබූ රටක්. උතුරු ඉන්දියාවේ බිහිවූ බුදු දහම අපි  පිළිගන්නේ ඵ් විවෘත බව නිසයි.

එහෙත් මේ විවෘත බව වසාගෙන සංස්කෘතිය  සම්බන්ධයෙන් දරුණු  ආරක්ෂණවාදී අදහස් අපේ සමාජයේ වගා දිගා වෙමින් තිබෙනවා. මේ අදහස් ඉදිරිපත් කරන අය කරන්නට හදන්නේ ඇතුළෙන්ම අගුලු දා ගැනීමටයි. බාහිර අද්දැකීමක් හුදු අනුකරණය කිරීමෙන් පමණක් එය සංස්කෘතික වශයෙන් ජීර්ණය වන්නේ නැහැ. එය අප සමාජයේ අනන්‍යතාව සහ ඇගයුම් පද්ධතිය නමැති පෙරහන් කඩෙන් මනා ලෙස පෙරී උරා ගැනීමට ජීර්ණය කර ගැනීමට ඉඩකඩ පාදා ගත යුතුයි.සංස්කෘතික ආරක්ෂණවාදය වෙනුවට සංස්කෘතික විචාරය අපේ සංස්කෘතික දැක්ම නිර්මාණය කිරීමේදී අත්‍යවශ්‍ය චර්යාවක් වෙනවා.

සාර සදිසි පෙති

'සාර සදිසි පෙති' මේ බ්ලොගයේ නමයි. මෙතෙක් කරගෙන එමින් තිබෙන 'සතර දිගන්තය' තිබියදී තවත් අලුත් බ්ලොගයක් කරන්නේ මොකටදැයි මගේ පාඨකයන්ට ප්‍රශ්නයක් ඇති වන්නට පුලුවන්. ඇත්තෙන්ම මටද එම ප්‍රශ්නය තිබෙනවා. දේශපාලන වාසුලියේ පැටලී ගසාගෙන යන්නට යන්නට සතර දිගන්තය අඛණ්ඩව ලිවීමට වෙලාව සොයා ගැනීමට නොහැකි වුණා. එ් බ්ලොගය දේශපාලනය වැඩියෙන් කතා කළ එකක්. ඉතින් වේගයෙන් අප්ඩේට් කළ යුතු එකක්. කාලය කළමනාකරණය කරගැනීමට හැකි වූ විට නැවතත් පරණ වේගයෙන්ම සතර දිගන්තය ලිවීමට ඉඩ තබාගෙන එහි සාරය නොමරා මට කීමට ඇති වෙනත් දේ  කීම සඳහා අලුත් බ්ලොගයක් ලෙස සාර සදිසි පෙත්ත කරන්නට කල්පනා කළා.

සාර සදිසි ⁣පෙති කියන යෙදුම ගත්තේ මේවර කෙළිය කියන අපේ පරණ ජන ක්‍රීඩාවකට සම්බන්ධ කවි පන්තියක එන පළමුවන පදයෙන්;

සාර සදිසි පෙති පේර නෙලන කල වළ ගි⁣යදෝ මගේ මේවරයා...
නෑනෝ නුඹ පල් නුඹෙ දරැවන් පල් අප දුටුවේ නැත මේ වරයා...

මෙතන මේවරයා කියන්නේ කාන්තාවන් කණේ පළදින පුස්කොළ වලින් හදපු පළඳනාවක්. මේ ජන ක්‍රීඩාව අද විතරක් නොවේ මීට අවුරුදු හතළිහකට විතර කලින් අපි පාසැල් ගිය කාලයේවත් ගම් වල තිබුනේ නෑ.ගමේ නොතිබුණත් පාසලේ විෂය නිර්දේශයේ තිබුණා. අපට මේක ඉගැන්වූයේ ගමේ පාසැලේ නැටුම් ගුරුවරියයි. ක්‍රීඩාව මොකක් වුනත් කවිය අපට මතක හිටියා.

මේ පද පෙලින් පටන් ගන්නා සමිතා එරන්දතී ගයන ගීතයකුත් තිබෙනවා. එ් ගීතයෙන් නම් කියන්නේ නැතිවුන පළඳනාවක් ගැන නොවෙයි.  තරුණියකට ආලය කරලා  පසුව හෙමින් මාරුවෙලා යන ප්‍රේම කුරුල්ලෙක් ගැනයි. පහත වීඩියෝව බලන්න...
https://youtu.be/c-iDfob1Jrs

මේ බ්ලොගයට සාර සදිසි පෙති ගත්තේ වෙනත් අදහසකින්.සමාජයක් හැටියට අපේ කිසියම් සාරයක් තිබේ නම් එය තිබෙන්නේ අපේ සංස්කෘතියෙයි. සංස්කෘතිය කියන්නෙ හරිම පළල් මාතෘකාවක්. ප්‍රකෘතිය නොවන සියල්ල සංස්කෘතියට අයිති නිසා. ප්‍රකෘතිය තේරුම් ගැනීමට පවා අප යොදා ගන්නා දැණුම සංස්කෘතියට සාපේකෂයි. මෙවන් වු පළල් වපසරියක අපේ සාරය සොයා යෑමක් හැටියටයි සාර සදිසි පෙති ලියවෙන්නේ.අපේ සංස්කෘතියේ සාරය පෙත්තෙන් පෙත්ත යහපත් ලෙස දකින්නයි මෙය ලියවෙන්නේ. නැතිව සංස්කෘතිය පෙති ගහන්න එහෙම නොවෙයි.