Wednesday, May 2, 2018

මක් කරන්නද? ඇතුලෙන්ම අගුලු දාගෙන

මක් කරන්නද?
ඇතුලෙන්ම
අගුලු දාගෙන

මේ ආරියවංශ රණවීරගෙ කෙටි කවියක්. රණවීරගෙ කෙටි කවි විවිධ අර්ථ ජනනය වන ලෙස කියවන්න පුලුවන් බව ඔහුගේ කවි පිළිබද විස්තරාතමක විග්‍රහයක් කර තිබෙන ලියනගේ අමරකීර්ති පවසා තිබුණා. අපි රණවීරගේ මේ කවිය අපේ සංස්කෘතිය වටහා ගැනීමට යොදා ගනිමු.

සංස්කෘතිය කියන්නේ වෙනස් වෙමින් රැකෙන දෙයක්. වෙනස් වෙමින් රැකෙනවා කියන යෙදුමේ ලොකු විරුද්ධාභාෂයක් තිබෙනවා. යමක් වෙනස් වෙනවා නම් රැකෙන්න විධිහක් නැහැ. රැකෙනවානමි වෙනස් වෙන්න විධිහක් නෑ. නමුත් සංස්කෘතිය සම්බන්ධයෙන් මේ විිරුද්ධාභාෂය වලංගුයි.

වෙනස් වෙමින් රැකෙන සංස්කෘතියකට විවෘතභාවය ඉතා අවශ්‍යයි. සංස්කෘතික වශයෙන් ආත්ම විශ්වාසයක් තිබෙන සමාජයක් බාහිර බලපෑම් සඳහා විවෘත වෙලා එමගින් වාසි අත්පත් කරගන්නවා. සංස්කෘතික අතින් ආත්ම විශ්වාසය බිඳගත්ත සමාජ වඩ වඩා ආරක්ෂණවාදී පැත්තට යොමුවෙනවා. එවැනි සමාජ උත්සාහ කරන්නේ හිරි වැටී තිබෙන සමිප්‍රදායන් හුවා දක්වන්නයි.

සංස්කෘතික විවෘත භාවයේ වැදගත්කම හා ආරක්ෂණවාදයේ පටු බව පැහැදිලි කරන හොඳ ලිපියක් කුසල් පෙරේරා මීට අවුරුදු දහයකට විතර කලින් පරිවර්තනය කර තිබුණා "සංස්කෘතික මහල්ලෙකුගේ සංවර්ධන විලාපය" නමින්.

අපි වැඩි දෙනෙක් යුරෝපයට බටහිරට දෙස් දෙවොල් තියන්න කැමති වුනාට බටහිර නූතනත්වය අවුරුදු පන්සියයක් තරම් කාලයක් ලෝකයේ රජ කරමින් තිබෙන්නේ ආර්ථික සාධක වලටත් වඩා සංස්කෘතික සාධක නිසා කියලයි මට හිතෙන්නේ. සංස්කෘතික විවෘත භාවය යුරෝපයට තිබූ විශේෂ ගුණයක්.

යුරෝපයේ ශක්තිය වූයේ කිසිවිටෙක ආරක්ෂණවාදීව තමන් වසා ගැනීමේ වරදට හසු නොවීමයි. අනෙක් සංස්කෘතීන්ගෙන් ලබා ගැනීමට හැකි වූ කිසිවක් අත නොහැරීමට යුරෝපය වග බලා ගත්තා. යුරෝපයේ මහා අධිරාජ්‍යය ගොඩ නැගුවේ රෝමානුවන්. ඒත් ඒ අධිරාජ්‍යයයේ පාලන රටාව රෝමයට වඩා පර්සියාවට කිට්ටු වුණා. යුරෝපයේ පුනරුදය අරාබි දැණුමින් බොහෝ ප්‍රයෝජන ගත්තා. නවීන දර්ශනය මුල පුරන්නට 13 වන සියවසෙහි හිටපු ක්‍රිස්තියානි දාර්ශනිකයන්ට හැකි වුණේ ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීම් වලට ඇවරෝස් වැනි දොළොස්වැනි සියවසෙහි හිටපු  අරාබි දාර්ශනිකයන් අර්ථකථන සපයා තිබූ බැවින්.

අපේ රටත් ඉහල සංස්කෘතික විවෘතභාවයක් තිබූ රටක්. උතුරු ඉන්දියාවේ බිහිවූ බුදු දහම අපි  පිළිගන්නේ ඵ් විවෘත බව නිසයි.

එහෙත් මේ විවෘත බව වසාගෙන සංස්කෘතිය  සම්බන්ධයෙන් දරුණු  ආරක්ෂණවාදී අදහස් අපේ සමාජයේ වගා දිගා වෙමින් තිබෙනවා. මේ අදහස් ඉදිරිපත් කරන අය කරන්නට හදන්නේ ඇතුළෙන්ම අගුලු දා ගැනීමටයි. බාහිර අද්දැකීමක් හුදු අනුකරණය කිරීමෙන් පමණක් එය සංස්කෘතික වශයෙන් ජීර්ණය වන්නේ නැහැ. එය අප සමාජයේ අනන්‍යතාව සහ ඇගයුම් පද්ධතිය නමැති පෙරහන් කඩෙන් මනා ලෙස පෙරී උරා ගැනීමට ජීර්ණය කර ගැනීමට ඉඩකඩ පාදා ගත යුතුයි.සංස්කෘතික ආරක්ෂණවාදය වෙනුවට සංස්කෘතික විචාරය අපේ සංස්කෘතික දැක්ම නිර්මාණය කිරීමේදී අත්‍යවශ්‍ය චර්යාවක් වෙනවා.

No comments:

Post a Comment