Thursday, May 3, 2018

සංස්කෘතියද බලයකි

රාජ්‍යයන් බලවත් වන ආකාර විවිධයි. සමහර රාජ්‍යය ධනයෙන් බලවත්. සමහර ඒවා තාක්ෂණික වශයෙන් බලවත්. න්‍යෂ්ටික බලය තිබෙන රටවල් අප හඳුන්වන්නේ න්‍යෂ්ටික බලවතුන් වශයෙන්. ඒ ආකාරයට සංස්කෘතික බලවතුන් බිහිවෙන්න බැරිද? මේ අදහස මගේ ඔලුවට දැම්මේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන.

 ඇත්තෙන්ම සංස්කෘතිය බලයක් ලෙස බොහොම සුමටව යොදාගන්නා රටවල් තිබෙනවා. එකක් තමයි ජපානය. අපි අපේ සංස්කෘතිය ගැන බොහොම ආඩම්බර වන ජාතියක්. එ් වගේම ආඩම්බර විය හැකි සංස්කෘතික උරුමයක්ද අපට තිබෙනවා. නමුත් අපට හැකි වී තිබෙනවාද ලෝකයක් වසඟ කළ හැකි ආකාරයට අපේ සංස්කෘතිය බලයක් ලෙස මතු කරන්න? තවම බැරි වුනත් කරන්න බැරි දෙයක් නොවෙයි.

උදාහරණයක් හැටියට ජපානය බටහිරින් ලැබුණ තාක්ෂණය තමන්ගේ කාර්මික සංවර්ධනය සඳහා යොදා ගත්තේ ජපන් සංස්කෘතික සංදර්හයක් ඇතුලේයි.ජපායේ කර්මාන්ත ආරම්භයේදී මුලු රටේම යහපත වෙනුවෙන් රජය කාර්මික ක්ෂේත්‍රයේ ආයෝජනය කළා. මෙය බටහිර සිදුවනාට වඩා සහමුලින්ම වෙනස් ක්‍රමයක්.  බටහිර කාර්මිකකරණය පුද්ගලික ලාභය සදහා පුද්ගලික ප්‍රාග්ධනය මත පුද්ගලික ව්‍යවසායකයන් විසින පුද්ගලික ව්‍යාපාර ලෙස පමණක් ආරම්භ වුවක්. කාර්මිකකරණය සඳහා ජපානය ගත්ත මේ වෙනස් නැඹුරුව බටහිරට අදහා ගන්න බැරිවුණා. බටහිර ආර්ථිකවිද්‍යා සිද්ධාන්ත වලින් එය පැහැදිලි කරන්න බැරි වුණා. රටම එක පවුලක් ලෙස කල්පනා කරන හැම කෙනාගේම සතු යුතුකම් සහ වගකීම් ගැන කොන්පියුසියානු සංස්කෘතික ආකල්ප මුලික කරගත්  ජපන් රාජ්‍ය ව්‍යවසාය වල වැඩ කරපු මිනිස්සු මේ රාජ්‍ය දේපල භාරගත්තේ පුද්ගලික දේපල හැටියටමයි. මිනිස්සු එන්ජින්වල කෑලි හොරෙන් ගෙදර අරන් ගියේ නෑ. පොදු බස් රථයේ සීට් කැපුවේ නැහැ.කෑදර හොරකම් කරලා මේ ආයතන බංකෙළොත් කළේ නෑ. කාර්මික කරණයේ එම මුලික දුෂ්කර අවධිය පන්නා ගත්තාට පසු ජපනුන් පසුව වෙනත් මාදිලි වලට මාරුවුණා.

 අපේ රටේත් මේ වගේ රාජ්‍ය ආයෝජන මත කාර්මිකකරණ ව්‍යාපෘති ආරම්භ කළත් ඒවා විනාශ කළේ අපි අපම නොවේද?පොදු දේපල ආරක්ෂකා කිරීම අපට පොතේ දැණුමක් මිස සංස්කෘතික භාවිතාවක් වුනේ නැහැ. ඒ අතින්  අපේ සංස්කෘතික බල පදනම දුර්වලයි. සංස්කෘතික බලයක් ගොඩනගන්න නමි මේ දුර්වල කම පියමං කළ යුතුව තිබනවා.

ජපානයට කොන්පියුසස් දහම තිබෙනවා වගේම අපට බුදු දහම තිබෙනවා.  ඒත් සම්මා කම්මන්තය පිළිබඳ අදහස පොතේ දැණුමක් ලෙස මිස නුතන යුගයට ගැලපෙන සංස්කෘතික දැණුමක් බවට අපි පත් කළේ නෑ. අපේ සංස්කෘතිය බලයක් බවට පත්කරන්න අපට තව මේ වැඩ බිමේ බොහෝ දේ කරන්න තිබෙනවා .






No comments:

Post a Comment